Part 14

Author's Pov

කාන්තාරය මැද..

"පිස්සුද එරික්..! මොන එහෙකටද උන් දෙන්නව මේ වැඩේට ගන්නේ..?"

"තේරෙන්නෙ නැද්ද අපිට විතරක් මේ වැඩේ කරන්න බෑ කියන එක.. අපිට තව කාගෙ හරි උදව් ඕනේ මේ වැඩේට.."

"එතකොට අර පොඩි එවුන් දෙන්නා..?"

"නෑ.. නෑ.. උන්ව මේකට ගාව ගන්නෙ නෑ.. කොහොම හරි කරලා වැඩේට කලින් මෙතනින් යවන්න ඕන.."

එරික් කිව්වේ කල්පනාකාරීවයි..

"ඒ.. එතකොට අර හා පැටියා වගේ ඉන්න කොල්ලා ඒකවත් යවනවද.."

"මොකෝ උඹට ඒකව ඕන වෙලාද..?"

එරික් කේමාල්ගෙන් ඇහුවෙ සමච්චලයෙන්..

"මට විතරක් නෙමෙයිනේ එරික්.. තමුසෙත් ඒ කොල්ලට කෙළ හලනවා නේ.."

කේමාල් කට කොනින් හිනා වෙද්දි එරික් දැම්මේ ජරා හිනාවක්..

"ඒත් ඒක හරියන වැඩක් නෙමෙයි බං.. මට පේන්නේ යීබෝයි පොඩි එකයි අතර මොකක් හරි දෙයක් තියෙනවා.."

"මොකක්..!! මේ අපේ යීබෝ..!!"

"ම්ම්..."

එරික් කල්පනාකාරීව හූ මිටි තබද්දි..

"එහෙනං අපි ඕක අතෑරලා දාමු එරික්.. අපිට මේ වෙලාවේ අනවශ්‍ය අවදානමකට අතදාන්න බෑ.."

"ම්ම්.. ඒකම තමා මාත් හිතුවේ.. අනික මං ටීම් එක සිලෙක්ට් කරද්දිම කචල් නැති සෙට් එකක් තෝරා ගත්තේ අපේ වැඩේට ප්‍රශ්නයක් නොවෙන්න.. කොහෙද අන්තිම මොහොතේ ෆැනල්ගෙන් ආව රික්වෙස්ට් එක රිජෙක්ට් කරන්න බැරි නිසයි මම ශාන්ව ගත්තේ.."

"දැන් ජොනතන්වයි හෙන්රිවයි තියාගෙන කොල්ලෝ දෙන්නව එලවලා දානවා.. ඒක නෙහ් අන්තිම තීරණය.."

කේමාල් ඉදගෙන හිටි තැනින් නැගිටමින් අහද්දි..

"ඔව්.. ජොනතන් හෙන්රි කියන්නේ කාත් කත් නැති එවුන්.. මොනව හරි දෙයක් වුනත් ඒ ගැන  හොයලා බලන්න විශේෂයෙන් කවුරුත් උන්දෙන්නට නෑ.. යීබෝව ඕන වෙන්නේ තව ටික දවසයි ඊට පස්සේ මොකක් හරි දහන් ගැටයක් දාලා මෙතනින් එලව ගන්න ඕන පොඩි කොල්ලවත් එක්කම.. මේ වැඩේ හරි ගියහම බැරියෑ ඔය කොල්ලා වෙනුවට දෙක තුනක්ම අල්ල ගන්න.."

එරික් කැත හිනාවක් සමග කියද්දි කේමාලුත් ඔලුව වැනුවේ එයට එකග වෙමින්..

"මේ පැපිරස් පත්‍ර ලේඛනයේ තියෙන විදිහට කේමාල් මෙතන තියෙන්නෙ අපිට හිතා ගන්න අමාරු වස්තුවක්.. දැක්ක නෙහ් ඇතුල් වීම් ද්වාරය.. මට තාමත් ඒකේ වටිනාකම ගැන තක්සේරුවක් දෙන්න බෑ.."

"මේ කිසිම දෙයක් ගැන ඊජිප්තු රජයටවත් ලන්ඩන් වලටත් දැන ගන්න දෙන්න බෑ එරික්..!!!"

කේමාල් අවදාරනයෙන් කියද්දි..

"අනිවාර්‍යෙන්ම..!!  මේ අපේ වස්තුව.. මේ පාර හරස් කරන ඕන එකෙක්ව අපි අපේ විදිහට අයින් කරලම දාමු.. එයාලා එතකොට ඉගෙන ගනී අදාල නැති වැඩ වලට ඇගිලි ගහන්න ගිහින් තමන්ගේ ජීවිතේත් නැති කරගන්න වෙනවා කියන එක.."

එරික් එහෙම කියද්දි කේමාල් වියරු හිනාවක් දුන්නේ ඒ ඇස් තණ්හාවෙන් පිරිලා යද්දියි.. 

මෙතන ඉන්න කාටවත් තමන්ගේ ඇස් වහලා කිසිම දෙයක් කරන්න බෑ කියලා හිතන් ඉන්න කේමාල්ගෙත් එරික්ගෙත් කතාව සිද්ද වෙන කාලය පුරාවටම කූඩාරම පිටුපසින් තිබුණු අමුතු හැඩයේ සෙවනැලි කිහිපයක් කතාව අවසන් වෙනවාත් සමගම ඇහිපිය ගහන සැනින් අතුරුදහන් වුනේ වෙනත් කිසිම කෙනෙක් ඒක දකින්නත් කලිනුයි..

*****

අහුල ගත්ත අනුබිස් පිලිම දෙක ආයෙත් තිබ්බ විදිහටම මේසයේ කොන් දෙක මත තිබ්බ ශාන් යීබෝටත් හිනාවක් දුන්නේ,

"දැන් හරි.. ඔය තියෙන්නෙ ලස්සනට.. ආයේ නං බිමට වැටෙන්න ඔට්ටු නෑ.."

කියමින්..

"අම්මෝ..! එකොළහත් පහු වෙලා.. අපි උදෙන්ම යන්න ඕන බෝ.. එහෙනම් මං නිදි.. ගුඩ් නයිට්...!!"

එකොළහයි දහය ලෙස සටහන් වුන ඔරලෝසුව දැක්ක ගමන් ශාන් කලබලයෙන් තමන්ගේ ඇදට පැන්නේ යීබෝට සුබ රාත්‍රියක් පතමින්..

කාමරයේ ලයිට් ඩිම් කල යීබෝත් ඇදේ හාන්සි වුනේ,

"ගුඩ් නයිට් ශාන්.."

ලෙස මුමුණමින්..

ඇදට වැටුන සැනින් ශාන් වෙත නිදි දෙව්දුව ලගා වුනත්, අවාසනාවට ඇය යීබෝ දිහා නං ඇහැක් ඇරලාවත් බලලා තිබ්බේ නෑ.. ඒ නිසා ඇදේ එහාට මෙහාට පෙරලි පෙරලි හිටිය කොල්ලගෙ ඇස් අන්තිමට නැවතුනේ කාමරයේ තියෙන මද එලියට දිලිසෙන අනුබිස් ඇස් අතරයි..මායාවකට අහුවුනා වගේ ඒ ඇස් දිහාම බලාගෙන හිටිය කොල්ලගෙ දැහැන බිදුනේ ඒත් එක්කම වගේ ඇහුන කාමරයට පිටතින් කවුරුන් හෝ මුමුණන සද්දයක් නිසයි.. ඒක තවත් යීබෝගේ නින්දට බාධා කලා.. ටිකෙන් ටික ඒ මිමිණීම මහා ඝෝෂාවක් බවට පත් වුනේ කොල්ලගෙ යකා ආවේශ කරමින්..

"ආයිශ්...!! නිදා ගන්නත් නෑ.. මේක හෝටලයක් ද නැත්තං සති පොලක් ද.. මේකෙ මැනේජ්මන්ට් නං අන්තිමයි.."

හෝටල් කාර්‍යමණ්ඩලයට පවා හිතෙන් බැන්න යීබෝ, ශාන්ගේ නින්දට බාධා නොවෙන්න ඇගිලි තුඩු වලින් දොර ලගට ගියේ තමන්ගේ නින්දට බාධා කරමින් එලියේ කියවන එවුන්ට හොදවැයින් දෙකක් ඇමතීමටයි..

"මොන මගුල්.... ල... ක්... ද... ම්... මේ..."

දොර ඇරිය ගමන් එලියට ඔලුව දාපු කොල්ලා බනින්න පටන් ගත්තත් කියවගෙන ආව වචන ටික කට ඇතුලේම හිර වුනේ ඒ කොරිඩෝවෙ කිසිම කෙනෙක් හිටියෙ නැති නිසයි..

"අහ්හ්.. කවුරුත් නෑ නෙහ්..!! එතකොට කවුද රණ්ඩු වුනේ..!!"

ලා කහ පාට එලියෙන් ආලෝකමත් වුන කාමර පිහිටලා තියෙන කොරිඩෝව දෙපැත්ත හොදට බැලුවත් කිසිම කෙනෙක් හිටියෙ නෑ..

"අනේ මන්දා.. නිදිමරගාතේ මටත් විකාරද කොහෙද.."

තමන්ටම කුටු කුටු ගගා බැන ගත්ත කොල්ලා අවසාන වතාවටත් කොරිඩෝවට බැල්මක් හෙලලා දොර වැහුවේ දැන්වත් හොදට නිදා ගන්නයි..

ඒත්...

එයා ඇදට යන්න හැරෙනවත් එක්කම දැක්කේ ශාන්ගේ ඇද පාමුල හිටගෙන ශාන් දිහා බලාගෙන ඉන්න අදුරු ඡායාවක්..

"මේ.. මොකක් ද මේ...!"

යීබෝගෙ කටින් එහෙම පිටවෙනවාත් එක්කම අර අදුරු ඡායාව ටිකෙන් ටික කොල්ලගෙ පැත්තට හැරෙන්න ගත්තා..

"දෙවියනේ...!!!"

ඒ ඡායාවේ මූණ....!

ඒකට මුහුණක් නැහැ..!!

කොල්ලා ලගට ඒක ලං වෙනවත් එක්කම කොල්ලා පස්සෙන් පස්සට ගිහින් දොරේ වැදුනා..

"ත්... ත.. ම්..මුසෙ ක්.. ක..ව්ද..!!"

අත්භූත ඡායාවකින් ප්‍රශ්න කරන්න තරම් කොල්ලා මෝඩකමද එහෙමත් නැත්තං නිර්භීතකමද කියලා හිතා ගන්න බෑ..
කොල්ලා ඡායාවෙන් ප්‍රශ්න කලත් උත්තරයක් ලැබුනෙ නැහැ.. කොල්ලා හෙමිහිට ඇස් කරකවලා ශාන් දෙස බැලුවත් එයා හිටියේ තද නින්දක..
යීබෝට කාමරයෙන් පැනලා යන්න පුළුවන්කම තිබ්බත් එයාට ශාන්ව මෙතන තනියම දාලා යන්න ඕන වුනේ නෑ..

මුහුණට වැදුන උණුසුම් සුසුම් රැල්ලේන් ආවේ කාලයක් තිස්සේ වහලා දාලා තිබුන කාමරයක් ඇතුලෙන් එන ගඳක්..
ශාන්ගෙ සිහියෙන් හිටිය කොල්ලා ඔලුව හරවද්දි දැක්කේ තමන්ව ගිල ගන්න වගේ, මූණට අගල් දෙක ලගින් ඉන්න ඒ කලුපාට ඡායාව..

කෑගහන්න උත්සාහ කලත් කටින් වචනයක්වත් පිට නොවෙද්දි අඩුම තරමේ ඇගවත් හොල්ල ගන්න බැරි වෙද්දී, ටිකෙන් ටික තමන්ව ගිල ගන්න හදන ඡායාව ලග කොල්ලට දැනුනේ පුදුම අසරණකමක්..

"අහ්හ්....!!!!"

දාඩිය නාගෙන ඇහැරුන යීබෝ පොඩි කබඩ් එක උඩ තිබුන වතුර බෝතලය කඩලා බී ගෙන බී ගෙන ගියේ මැරතන් එකක් දුවලා ආ සමානව හති අරිද්දියි..

"ඒ.. ඒ..ක හීනයක්...! ඒක හීනයක් යීබෝ.."

ටිකකින් ප්‍රකෘති සිහියට ආවා කොල්ලා තමාටම කියා ගෙන ඉක්මනට ශාන්ගෙ ඇද දිහා බැලුවා..

කිසිම කරදරයක් නැතුව පාඩුවේ නිදාගෙන ඉන්න ශාන්ව දැක්කහම කොල්ලගේ හිතට දැනුනෙ පුදුමාකාර සැහැල්ලුවක්..

කෝකටත් ඇදෙන් බැහැලා දොර ඇරලා වටපිට බැලුව කොල්ලා, ආයෙත් ඇදට ආවේ කලබල වුන මනස සන්සුන් කරගෙනයි..

"ඇත්තක් වගේ දැනුනට ඒක හීනයක් බෝ.. ඔයා ස්ලීපින් පැරලයිස් එකකට ගිහින්.. ඒකයි එහෙම වුනේ.. බය වෙන්න එපා.. ඒක හීනයක්.."

තමන් විසින් තමන්වම සනස ගත්තා කොල්ලා අවසානයට නිගමනය කලේ පහුගිය දවස්වල සිද්ද වෙච්ච සිද්දීන් එයාගේ මනසට මේ විදිහට බලපාන බවයි..

නැවතත් හෙමිහිට නින්දට වැටුන කොල්ලා ඇස්පිය වෙනවාත් එක්කම දැක්කේ එයාගෙත් ශාන්ගෙත් ඇදන් අතරින් දොර දෙසට පාවෙලා යන කලුපාට ඡායාවක්.. ඒකත් තමන්ගේ හිතේ ඇදුන හිතලුවක් වෙන්නැතැයි සිතූ යීබෝ අනෙක් පැත්තට හැරුනේ විකාර සිහින වලට හිත ඇතුලෙන් දෙස් දෙවොල් තබමින්..  

.
.
.
.
.
🔰Ama 

කතාව කියවන හැමෝටම ස්තූතියි..

කට්ටියම පරිස්සමින් ඉන්න..

Comment