විසි හතරවන සිහිනය 💭

සිහින එහෙන් පිටත් උනා කිව්ව ගමන්ම මන් ලේස්ති උනේ තේව්ලගෙ ගෙදර යන්න. හේතුවක් නැතුව එක පාරම එහේ යන්නත් බැරි එකේ මගෙ මොලේ පොඩ්ඩක් පාවිච්චි කරලා අවුරුද්දට යන ගමන පහු කර කර ඉදලා මේ එක්කම උන්ලෑ දිහා යන්න හිතුවේ ස්කෝලෙ පටන් ගන්න කලින් එක පාරක් හරි සිහිනව දකින්න හිතාගෙන. කොහෙද මගේ හිත මටම පාලනයක් නැහැනෙ. මැරෙන්න හදනවා සිහිනව බලන්න ඕන කියලා. සති දෙකක් විතර තිස්සෙ ඉදන් බලන් ඉන්නෙ මේ පුංචි භූතයා එනකන්...ඉතින් අන්තිම මොහොතෙ මෙහෙම වෙන එක සාධාරණයිනෙ. ආ නැද්ද....?

දහයට විතර කිට්ටු කරලා බාත් රූම් එකට පැනගත්ත මම සින්දුවක් මුමුණන ගමන රස්නෙ වතුරෙන් හොඳට නාගන්න ගමන් තමයි හිටියේ...

❝ තරු වාගේ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගේ...
බෑ දැන් කියාගන්න හිත ගොළු වෙලා....❞

බාත් රූම් එකේ ඉද්දිම මට ඇහුණා කාමරේ දොර ඇරෙන සද්දෙ.. කතා නොකර තමන්ගේ වගේ මගෙ කාමරේට පනිනවනම් ඉතින් විශාකයම තමයි...මන් හිතන්නෙ ඌ ලේස්ති වෙලා එන්න ඇත්තෙ. එහෙම හිතන ගමන් මන් ආයෙම ෂවර් එක ඇරගත්තෙ ඌ ආවා කියලා සබන් පිටින් යන්නද මොකෝ...

"අඩේ ආක්ෂ උඹ කොහෙ යන්නද??"

උදේ පාන්දර ඇදෙන් වැටිලා මුගෙ ඔලුව වැදිලද. ෂවර් එකට මූණ අල්ලන් හිටපු මන් සද්දෙන්ම ඌ අහනවත් එක්ක මූණත් අතින් පිහදාන ගමන් කන්ෆියුස් වෙලා බලන් හිටියේ මූ අද නැගිටපු පැත්ත වැරදිලද කියලා. මන් හිතන්නෙ මගෙ ඇද උඩ පිළිවෙලකට අයන් කරලා දාලා තිබුණ සූට් එක බලන ගමන් තමයි ඔය අහන්නෙ. ඇයි යකෝ මන් මූට ඊයෙ රෑ කිව්වනෙ, අද තේව්ලගෙ ගෙදර යමු කියලා. ෂුවර් එකටම මූ ඇදෙන් වැටිලා ඔලුව ඇනගෙන තමයි.

නාලා ඉවර වෙලා ටවල් එකත් ඉන වටේ පටලවාගත්ත මන් ඔලුව පිහදාන ගමන් බාත් රූම් එකෙන් එළියට එද්දි විශාකයා පුටුව උඩ හොදට දිගෑදිලා ෆෝන් එක ඔබනවා..මූ ඉන්නෙ තාම ෂෝට පිටින්...මට හිතුනෙම මුගෙ හොම්බට දෙකක් ඇනලා පයින් එකක් දීල එළියට දාන්න...ඒක කරගන්න බැරි තැන ඔලුව පිහද පිහද ආව තුවායෙන්ම මන් දමලා ඇරියා...

"උඹ ලේස්ති උනේ නැද්ද...?"

උරහිස ගාව රැදුණ ගුලි ගැහුන තුවාය අරන් ආයෙම මට ගහපු ඌ ඇහිබැමකුත් උඩහට කරගෙන මට දුන්නෙ 'මොන මගුලක යන්නද අහන්නෙ?' වගේ ලුක් එකක්...

"කොහෙ යන්නද??"

"ඇයි යකෝ මන් උඹට ඊයෙ රෑ කිව්වෙ. අද තේව්ලගෙ ගෙදර යමු කියලා."

ඇද උඩ දාලා තිබුණ කලිසම අරගෙන කලිසම් කකුලට මගේ කකුලක් බස්ස ගන්න ගමන්ම මන් එහෙම කිව්වම ඌ ෆෝන් එකත් පැත්තකින් තියලා මගෙ පැත්තට හැරුණා. මන් හිතන්නෙ දැන්ද කොහෙද මීටර් උනේ. මූ හොඳයි ඉතින්. අනේ මන් කියන්නෙ නෑ...

"යකෝ උඹ යක්කු ගස් නගින වෙලාවට අරන් මට ඕවා කිව්වම මතක තියෙනවද බං."

"ඉතින් මට හිතුණ වෙලේනෙ මන් උඹට කිව්වෙ"

බෙල්ල පිටිපස්ස කසන ගමන්ම මන් එහෙම කියද්දි ඌ පුටුවෙන් නැගිටලා මගෙ දිහාවට ආවේ මොකක් හරි හොර වැඩක් කරලා මන් අතටම මාට්ටු උනා වගේ. අයන් කරලා තිබුණ චෙක් ෂර්ට් එක ඇගට දාගෙන බොත්තම් දාන්න ගත්ත මගෙ ඇස් මට්ටමට පහත් වෙලා ඌ මගෙ දිහාවට ඇගිල්ලක් දික් කරා.

"ඒක නෙමෙයි උඹෙ සිහින කුමාරයා එන දවසක් නැද්ද??"

"අද එනවා"

ෂර්ට් එකේ බොත්තම් දාන ගමන්ම මන් උත්තර දුන්නේ සිහින එන්න වෙලාවත් කිට්ටු කරලා තිබුණ නිසා. මූවත් ලේස්ති කරගෙන යන්න එපැයි ඉතින් පරක්කු වෙන්නෙ කොහොමද..

"අහ්හා.. ඒක තමයි එහෙනම් උඹ මේ අදම එහේ දුවන්නෙ"

නක්කලේට හිනා වෙවී එහෙම කියපු ඌ මගෙ පහළ ඉදලා උඩටම බලාගෙන එද්දි මන් උගෙ ඔලුවට එකක් ගහලා කණ්නාඩි මේසෙ උඩ තිබුණ සෙන්ට් එක ටී ෂර්ට් එක පුරාම ස්ප්‍රේ කරගත්තා.

"මට පොඩ්ඩක් හිතන්න තිබ්බා!!! මේ ටිකේම මූඩ් ගහලා හිටපු එකාගෙ වෙනද නැති ලුක් එකක් තියෙනකොට"

"ඉතින් සතුටු නැද්ද ඕයි.. ඌ නැතුව මට පාලුයි බං. දකින්නැතුව ඉන්න වාරයක් ගානෙ ඒකා වෙන කෙනෙක්ගෙ වෙයි කියලා බය හිතෙනවා. මන් සිහිනට ඇත්තටම ආදරෙයි. උඹට ආයෙ මන් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. උඹ දන්නවනේ."

"උඹෙ කටට බ්‍රේක් නැති මැස්සො යයි.."

හුස්මක් කටක් නොගෙන මම කියවගෙන යද්දි ඌ මගෙ දිහා කටත් ඇරගෙන බලන් ඉන්නවා.. කණ්නාඩියෙන් මට පේන විශාක දිහා බලාගෙන කියවගෙන ගියපු මන් අන්තිමට එහෙම කියලා මෙසේ උඩ තියලා තිබුණ වොච් එක අරන් අතේ බැදගද්දි ඌ කටත් හදාගෙන සීරියස් මූඩ් එකකට එනවා මන් ලාවට දැක්කා...

"නෑ මන් කල්පනා කරේ උඹ ඕක ගෙදරට කියන්නෙ කොහොමද කියලා.. මේක සීරියස් කේස් එකක් බං. උඹලගෙ තාත්තා ගැන දන්නවනෙ. හරි!!, ගෙදරින් කැමති උනත් ඔක්කොටම කලින් සිහින උඹට කැමති වෙලා ඉන්න එපැයි. අනික උඹ කලින් කොල්ලෙක් ගැන හිතලත් නෑනෙ"

"ඉතින් මන් කෙල්ලෙක්ට ආදරේ කරලත් නැහැනෙ..."

"උඹ මොකද කරන්න හිතන් ඉන්නෙ.?"

ආයෙත් මගෙ පපුව ගැහෙන වේගෙ වෙනස් උනා.. කණ්නාඩියෙන් පේන මගෙ මූණ දිහා බලාගෙනම විශාක කිව්ව ඒ වචන මගෙ පපුව අස්සටම කිදා බහිනවා වගේ දැනුනා.. මගෙ හිත වේගෙන් වේගන් ගොඩක් දේවල් හිතද්දි එක පාරටම මට විශාකට කියන්න දෙයක් හිතාගන්නත් බැරි වෙනකොට මන් ඌ දිහාම හැලහොල්මනක් නැතුව බලන් හිටියා...

"වෙන දෙයක් වෙයි බං. සිහින වෙනුවෙන් මට ගේ වෙන්න උනත් පුළුවන්. ගෙදර ප්‍රශ්න අපි ඒ වෙලාවට බලාගමු"

"දැන් ඕක උඹ කවද්ද කියන්න හිතන් ඉන්නෙ??"

"ඕනෙකක් වෙන්න කියලා සිහින ආව ගමන් මන් අහන්න හිතන් ඉන්නෙ"

"ඒක හොඳයි"

කතාව එතනින් අහවර වෙද්දි ලේස්ති වෙලා ඉවර උන මන් ඌත් එක්කම කාමරෙන් එළියට බැස්සා.. ඇත්තටම සිහින මට අකමැති වෙයිද.? කොල්ලෙක්ට ආදරේ කරන්න බෑ කිව්වොත්. ඒත් මන් ඉස්සරහ විතරක් රෝස පාට හැරෙන ඒ කම්මුල්, මාව දැක්කම කදුලු වලින් දිලිසෙන ඒ ඇස් නම් කියන්නෙ වෙනම කතාවක්...දාහක් දේවල් ඔලුවෙ වැඩ කරද්දි මම පහළට බැස්සේ අම්මටත් කියලා යන්න හිතාගෙන උනත් පඩි දෙක තුනක් බහිද්දි පිටිපස්සෙන් ඇහුණ සිතූගෙ කටහඬට අපි දෙන්නම ආපස්සට හැරුණා.

"අයියේ ආආආ..."

හැරෙන සැනින් සිතූ මන් දිහාවට විසි කරපු දේ යන්තම් මගෙ අත් අතර රැදෙද්දි මට දැනුනා ඒක චේන් එකක් කියලා.

"ඔහොම විසි කරන්නෙ කැඩුනනම් මෝඩියේ"

මටත් රවන ගමන් පඩිපෙළ බැහැගෙන අපි කිට්ටුවට ආව සිතූ මගේ අතේ ගුලි වෙලා තිබුණ චේන් එක පෙන්නලා බලන්න කියලා ඇස් වලින් ඉගි කරා...

"මන් ගොඩක් කල්පනා කරා හරිද. ඕක කොහෙදිද දැක්කේ කියලා එතකොට තමයි අයියගෙ මාලෙ මතක් උනේ. ඒක හරියටම ඒ වගේමයි. මේක කපල් නෙක්ලස් එකක් වගේ හලෝ. බලනවකො"

සිතූ එහෙම කියද්දි අතේ ගුලි වෙලා තිබුණ චේන් එක මන් හෙමින් සැරේ දිගෑරලා බැලුවා..

"අඩේ ඒක උඹෙ මාලේ වගේමයිනෙ බං"

විශාක එහෙම කියද්දි මන් තව ටිකක් ඒක හරවා හරවා බැලුවා...

උවමනාවෙන් කියලා මන් හරියටම ඒක බැලුවේ මේ වෙලාවෙනෙ...මගෙ ඇස් ලොකු වෙලා පෙන්ඩන්ට් එක උඩම මගෙ ඇගිලි එහෙ මෙහෙ දුවද්දි මොකක්දෝ ලොකු වේදනාවකට මගෙ පපුවෙ පැත්තක් රිදෙනවා වගේ මට දැනුනා.. මට තේරුණා මගෙ ඇස් බොඳ වේගෙන එනවා. තදින් ඇස් පියාගෙන හුස්මක් ගත්ත මන් එළියට පැනගන්න දගලපු කදුලු ටික උඩහට ඇදගත්තා. ඒ පෙන්ඩන්ට් එක!!! ඒක හරියටම මගෙ එක වගේමයි. මගෙ පෙන්ඩන්ට් එක සූර්ය ලකුණක් තිබුණා උනත් ඒකේ තිබුණෙ හඳක්... පෙන්ඩන්ට් දෙක වෙනස් උනත් ඒ දෙකම කපල් නෙක්ලස් කියන්න පුළුවන් විදියේ එකම පෙනුමක් තිබ්බා..

"දෙයියනේ...කොහොමද මට අමතක උනේ, මේක!!! ඒක වගේමයි"

මන් හිටියේ මගේ හිත එක්කම කතා කරන ගමන් වෙනමම ලෝකෙක තනිවෙලා...තප්පර ගානක් යන්නත් කලින් ගැස්සිලා ගිය මම පියවි සිහියට ආවේ සිතූගෙ ටකරන් වොයිස් එකට...

"කෝ තවුසෙගෙ මාලෙ ගන්නවා එළියට."

අතිනුත් පෙන්න පෙන්න ඒකි කලබලෙන් එහෙම කිව්වේ මාලෙ මගෙ කරේ ඇති කියලා හිතලා උනත් මන් ඒ මාලෙ මෙච්චර දවසක් නොදාපු බව මටත් අමතක උනා. ඒක ස්කෝලෙ පටන් ගත්තට පස්සෙ පරිස්සමින් අල්මාරි ලාච්ච්වේ දැම්මා කියලා මට මතක් උනේ එවෙලේ... මේ දේත් එක්ක මගෙ හිත අපේ පැත්තෙ වළවල් හැදුන තාර පාරේ බොර වෙච්ච වතුර වළක් වගේ අවුල් වෙලා ගියා...

"ඔය වගේ ඒවා ඕන තරම් තියෙන්න පුළුවන්නෙ බං"

හිතලා හිතලා අන්තිමේදි මන් මගේ හිත සනසගන්න දැනෙන දේවල් මැගෑරලා එහෙම කිව්වා...

"ඒ උනාට ඕක උඹලයි පරම්පරාවෙන් එන එකක් කිව්වා නේද"

"ඒකනෙ විශාක අයියේ!! මාල දෙක එකට තියලා බලන්නකො. නැද්ද කියලා"

නැති වෙන්නෙ කොහොමද සිතූ, මන් හොඳටම දන්නවා මගේ මාලෙ මොනවගේද කියලා... ඉතින් මට අදුන ගන්න බැරිද ඒ සමානකම.. මේ දෙකම කිසි වෙනසක් නෑ එක වගේමයි කියලා මට ආයෙ ආයෙත් හිතුණා...මගේ හිත අහේතුකව ගැහෙන වේගෙ වැඩි උනා...ඒත් මොකක්ම හරි හේතුවක් තියෙන්න ඇති...මගෙ මාලෙ එක්ක මට ලොකු සම්බන්ධයක් දැනුනා වගේම මේ මාලෙ මට කාවදෝ මතක් කරන්න හදනවා වගේ මට තේරුණා...ඒත් ඒ සිතුවිල්ලට වැඩි වෙලා රැදෙන්න නොදුන්න මන් දැනෙන දේවල් හිතට බර වැඩි වේගෙන එද්දි කතාව වෙනස් කරන්න හිතුවා...

"ඒක මගෙ කබඩ් එකේ, අපි මේක පස්සෙ බලමු සිතූ. අපි දැන් යන්න ඕන"

මේක ගැන හිතන්න දැන් වෙලාව නෙමෙයි නිසා අතේ තියෙන චේන් එක ගුලි කරලා පර්ස් එකේ ඔබාගත්ත මම යන්න හැරුණත් මන් ආපස්සට හැරිලා සිතූට කතා කරා..

"ආ මේ ඒක නෙමෙයි, තවුසෙට මේක එපාද??"

"එපා, ඕක කපල් නෙක්ලස් එකක් වගේ...ඕක මගෙ නෑනට දෙන්න"

එහෙම කියලා ඇහැක් ගහපු සිතූ උඩහට දුවගෙන යද්දි ඕනෙකක් කියලා මන් විශාක එක්ක පහළට ආවා...මේකි ඕනවට වැඩී දැන්...

"කොහෙද ඔය යන්න ලෑස්තිය??"

වේලුණු රෙදි ටිකකුත් උස්සගෙන එහෙම අහගෙනම අම්මා එළියෙ ඉදලා ගෙට එද්දි මාත් ඉස්සරහට ආවේ අම්මට විස්තරේ කියන්න හදන ගමන්...

"ආ..මේ අලුත් අවුරුද්දට, අපේ ටීම් එකේ මල්ලි කෙනෙක්ගෙ ගෙදර යන්න අම්මේ."

"අර තේව් දරුවලගෙ ගෙදරද? දැන් මොනවද ගෙනියන්නෙ??"

"ඔව්.. මොනවහරි යන ගමන් අරන් යනවා අම්මේ"

"තනියමද යන්නෙ?"

හැම මගුලටම මාත් එක්කම ඉන්න විශාකයා යන පාටක් පේන්න නැති උන නිසාම වෙන්නැති අම්මා විශාකගෙ උඩ ඉදන් පහළට බලන ගමන් එහෙම අහද්දි උට කෙලත් ගිලුනා....

"මේකා හරියට පණිවිඩේ දුන්න නම් එහෙම වෙන්නෙ නෑනෙ නැන්දේ"

ඔය කිව්වේ ඉතින් තඩි පචයක්...මූ නිදිමතේ එක කනකින් අහලා අනික් කනෙන් පිට කරාට මන් මොනා කරන්නද. ෆුල් ඩීටේල්ස් එක්ක මුට පණිවිඩේ දීලා තියෙද්දි අද දෙවනි පාරටත් මට මූට හොඳවයින් දෙකක් දෙන්න හිතුනා....

"මූ ලේස්ති වෙලා නැහැනෙ. ලේස්ති වෙලා එහෙමම යනවා අම්මෙ"

අම්මට එහෙම කියාගෙනම විශාකට හොඳවයින් රවලා සාක්කුවට අත් දෙක ඔබාගත්ත මන් එළියට ඇවිදගෙන යද්දි මගෙ පස්සෙන්ම ආව ඌ මගේ කරට අතක් දාගත්තා...විශාකත් ලේස්ති වෙලා ආවට පස්සෙ ටවුමට ඇවිත් මග තිබුණ ෂොප් එකකින් ගෙනියන ජාතිත් අරගෙන අපි දෙන්නා මහරගම බස් එකකට නැගගත්තා...

'මම තාම දන්නෙ නෑ සිහින, මන් ඔයාට මෙච්චර ආදරේ කරන්න තරම් ඔයා මට මොනවද කරේ කියලා. කවද ඉදන්ද මන් මෙහෙම බොළද උනේ. ආදරේ කරද්දි අපි කරන ගොඩක් දේ බොළදයි...ඒත් ආදරේ ඉස්සරහ දශමයක් හරි හැම හිතක්ම එහෙමයි...නෙද?'

අපි දෙන්නා හිටියේ හිටගෙන...බස් එකේ අල්ලගෙන යන්න තියෙන කොක්කක, එල්ලිලා මනෝ පාරක් ගහන් හිටපු මගෙ හීන මාලිගාවම බස් කාරයා ගහපු බ්‍රේක් පාර නිසා බිමට සමතලා වෙද්දි මට උගෙ අම්මා අප්පගෙ ඉදලම මතක් උනා...

මට ඕන උනේ පුළුවන් ඉක්මනට මගෙ හුරතල් කොලු පැටියගෙ මූණ දකින්න. ගෙවුණු සති දෙකටම මන් හිටියේ සාංකාව හැදිලා.. ඉතින් හෝල්ට් එකට කිට්ටු කරලා බස් එක ස්ලෝව් කරද්දිම මන් නවත්තන්න ඔන්න මෙන්න තියලා බස් එකෙන් බැහැගත්තේ අඩි දෙක තුනක් මන් ඉස්සරහට දුවලා ගිහින් නවතිද්දි....

"ආක්ෂයා...."

"මොකද බං..."

"මොකද බං නෙමෙයි උඹ මැරෙන්නද හදන්නෙ."

විශාකයට මල පැනලා... විශාක බස් එකෙන් බැහැලා මන් ලගින් හිටගත්තම අතේ තිබුණ බෑග් එකත් උගෙ අතට දීලා මන් ඉස්සරහට ඇවිදගෙන ගියා.. තනි අතින් එල්ලගෙන ඇවිල්ලා අතත් යන්තම් හිරිවැටිලා තියෙද්දි මන් අතේ හිරි අරින ගමන් විශාක එක්ක කතාවෙන්ම ඇවිදගෙන තේව්ගෙ ගෙවල් පාරේ ඇවිදගෙන ආවා...අපි තේව්ලගෙ ගෙදර එද්දි ගේට්ටුවත් බාගෙට ඇරලා තිබුණ නිසා ඇතුළට ඇවිත් ගේට්ටුව වහද්දි ගේට්ටුව අරින සද්දෙට වෙන්නැති තේව් මල්ලි එළියට බැස්සා..

"ආ...අයියලානේ...ගේට්ටුව ඇරලා තියලා එන්න අයියේ. දැන් සිහිනලා ඒවි"

"හරි බං"

සිහින එන බව මතක් කරද්දිත් මගෙ මූණ හිනාවකින් පිරුණා...තව මොහොතකින් ඒ රූපෙ බලාපොරොත්තුවෙන්ම මන් ඒ හෙට ගොඩ වෙද්දි තේව්ලගෙ අම්මත් අපිව සාදරයෙන් පිළිගත්තා... සිහින එනකන් නැන්දගෙ කැවිලි වල රහ බලන ගමන් අපි ගොඩ වෙලාවක් කතා කර කර හිටියා....

ආක්ෂ POV end.

.

.

.

.

.

3rd person pov-

"ආක්ෂ!, කෝ මට විස්කෝතු ?"

"මේවා සිහිනට ගත්තෙ"

පොරොන්දුව පරිදිම සදෙව් එක්කලා දොළට නාන්න යන ගමන් හිටිය වලව්වේ පොඩි බේබි වෙනද පුරුද්දට කඩ මණ්ඩිය ඉස්සරහ නැවතුනේ සිහිනට දෙන්න විස්කෝතු ගන්න. මුදලාලිට කියලා වෙනද වගේම කොළ කෑල්ලක ඔතලා අතට ගත්ත විස්කෝතු දෙක, අරන් ආපු මල්ලට දාගත්ත ආක්ෂ දිහා බලලා සදෙව් එහෙම ඇහුවා...

"වලව්වේ පොඩි බේබි යාලුවට සලකන විදිය නම් හොඳම නෑ"

අත් දෙකත් බැදගෙන එහෙම කිව්ව සදෙව් ආක්ෂට රවලා අහක බලාගත්තා.. මූණත් නාලු කරගෙන බලන් ඉන්න සදෙව් දිහා බලලා ආපහු හැරුණ ආක්ෂ, කඩේ ඇතුළට ගිහින් අරන් ආව තවත් විස්කෝතුවක් සදෙව්ගෙ අතේ තිබ්බම දත් පෙළම පෙන්නලා හිනා උන සදෙව් දිහා බලලා හිනා කදුලක් මූණට නොගත්ත ආක්ෂ ඉදිරියට ඇවිදගෙන ගියා...

"ඔය ආඩම්බකම මන් අඩු කරලා ගන්නම්කො ආක්ෂ"

සිහිනට හැරුණවිට අනෙක් හැමෝටම ආඩම්බරකම් පෙන්වන ආක්ෂ දිහා බලලා එහෙම හිතුව සදෙව් තප්පර ගානක් සිටි සිතුවිල්ල පැත්තක දාලා දිව විත් ආක්ෂ සමග ගමනට එකතු උනා... සදෙව් නම් එන අතරතුරත් ගම ගැන නොයෙකුත් දේ කියවනවා.. ඔහුට ගමේ හැමදේම අලුත් න්සා කතා කරන්න නොයෙකුත් දේ තිබුණත් ආක්ෂ ගෙ නම් හා හූවක් නැති උනා.. අවසානෙදි දෙන්නම ඇවිත් සිහිනගෙ ගෙදර වැට කඩුල්ල ගාව නතර උනා...

"සුදු බෝලේ..."

කඩුල්ලත් මෑත් කරගෙන සිහිනගෙ ගෙදර දොරකඩ වෙනකන් ආව ආක්ෂ සිහිනගෙ නම කතා කරගෙනම ගේ ඇතුළට රිංගුවා....සාලෙ හරියට ගොඩ උන ආක්ෂ දුටුවේ ඇදුම් කඩදහි දෙකක් ඔබපු මල්ලක් පුටුවක් උඩ තියලා තියෙන අයුරු....වලව්වේ පොඩි බේබිගෙ කටහඬට කුස්සියේ උයමින් හිටිය මල්ලිකා ඇදුමට උඩින් ඇද සිටි රෙදි කඩෙන්ම අත පිසදමමින් සාලෙට පැමිණියා...

"මල්ලිකා සිහින කෝ..??"

"අනේ පොඩි බේබි!!...මෙහෙන් ඉද ගන්නකො. ඔන්න නාන්න යන්නය කියලා ඔක්කොම ලේස්ති කරලා අන්තිම මොහොතෙ මාමා එක්ක ටවුමට ගියානෙව"

"අර මොකටද?? මන් එනවා කිව්වනේ එක්ක යන්න"

"කොල්ලගෙ වරදක් නැහැ පොඩි බේබි. ඒකාගෙ මාමට ආයෙ යන්න වෙලාවක් නැහැ කියලා සදුදා ස්කෝලෙට ගේන්න කියාපු ජාති වගයක් ගන්න කොල්ලව බලෙන්ම ටවුමට එක්ක ගියා..."

"හ්ම්ම්..මන් ඉන්නම් සිහින එනකන්"

"කොල්ලා එන්න වෙලා යයිද දන්නෙ නෑ. පොඩි බේබිලා ගිහින් එන්නකො"

සිහිනව මගහැරලා යන්නත් බැරිව සදෙව්ට උන පොරොන්දුව කඩන්නත් බැරුව දෙතැනක නතර උන්න ආක්ෂගෙ මුරණ්ඩු හිත අවසානෙ සිහින එනකන් මොහොතක් බලා ඉන්න තීරණය කරා.... ආක්ෂ හිටියේ, වලව්වේ පොඩි බේබිටයි ඔහුගෙ සහෝදරයා වෙනුවෙනුයි මල්ලිකා තියලා ගිය අසුනක වාඩි වෙලා දොරකඩින් පේන එළිය බලාගෙන....

මිනිත්තු පහක් දහයක්? නැතිනම් ඊටත් වැඩි වෙලාවක් ගෙවෙනකන් ගත් බර හුස්ම පොදවල් වා තලයට මුසු කරමින් බලන් හිටපු එක ආක්ෂගෙ එකම රාජකාරිය උනා. ආක්ෂ වාඩි වෙලා බලන් ඉන්න අතරෙ සදෙව් නම් තමන්ගෙ ගෙදර මෙන් මල්ලිකාගෙ කුස්සියට වෙලා ඇය කෑම සකසන අයුරු බලන් හිටියේ මොහොතකට තම කටට විවේකයක් නොදෙමින්..

"සුවඳයි....මොනවද නැන්දා උයන්නෙ??"

"බතක් උයලා කොස් ව්‍යංජනයකුයි වැව් මාලුයි හැදුවා...පුතා කනවද?"

"අපි කාලා ආවේ නැන්දේ.....ම්ම්ම්.....ඕන්නම් තව කන්නත් පුළුවන්."

දුම් දමමින් ලිප උඩ පැහෙන මාළු හොද්ද දිහා බලාගෙන මොහොතක් හිතුව සදෙව් එහෙම කිව්වේ සුවදින්ම මල්ලිකාගෙ කෑම රස ඇති බව තේරුණ නිසා....

"සදෙව්ව්ව්ව්!!!!"

සිහිනගෙ පුංචි ගෙදර ඇතුළෙ සද්දෙන්ම ඇහෙන සදෙව් ගෙ කියවිල්ලත් අහගෙනම සිහින එනකන් මග බලන් උන්න ආක්ෂ සදෙව්ට කෑගහලා කතා කරේ මල්ලිකාගෙ කෑම එකටත් වැඩේ දෙන්න යන තම සහෝදරයා එක්ක ආපු පුංචි කේන්තියක් හිතේ ඇතිව.....

"ඕ.. සිහින ආවද...??"

ආක්ෂගෙ කෑ ගැසීමට මෙතෙක් වෙලා කුස්සියේ ඉදපු සදෙව් සාල කෑල්ලට දුවගෙන ආවා...

"කෝ සිහින ඇවිත් නැහැනෙ මොකටද කතා කරේ?"

"අපි යමු දැන්. හවස් වෙන්නත් එනවා."

ඉදගෙන හිටපු පුටුවෙන් නැගිට්ට ආක්ෂ, සිහින මගදි වත් හමු උනොත් ඔහුවත් එක්ක යා හැකි බව මොහොතකට කල්පනා වූ නිසා සිහිනගෙ ඇදුම් මල්ලත් තම මල්ල සමග එක අතකට ගෙන නිවසින් පිටතට පැමිණියා...

"මල්ලිකා!!..අපි යනවා"

"හොඳමයි පොඩි බේබි"

සදෙව්ගෙ පස්සෙන්ම සාලෙට ගොඩ උන මල්ලිකාට කියලා ආක්ෂ මිදුලට බැහැලා යන්න යද්දි සදෙව්නුත් මල්ලිකාට යන බව කියලා ආක්ෂ පස්සෙන්ම ගෑටුවා...දොළ පාර දිහාවට ගමේ මැටි පාර දිගේ කෙටි දුරක් ඇවිදෙගන ආව ආක්ෂගෙ කකුල් එකවරම නැවතිලා ගියා...

සිහින තමන්ට මගදි හමුවේවියි හිත හිතා ආව ආක්ෂගෙ පැතුම ඉටුවෙලා තිබුණා.... පොත් පුරවපු සිලි බෑගයක් අතැතිව ඉදිරියට එන පියතිලකගෙ අනෙක් අතේ එල්ලිලා එන සිහිනව දුටු සැනින් වතුර පොදක් නැතුව වියළිලා තිබුණ පොළවට ලැබුණ අහඹු වැස්සක් මෙන් ආක්ෂගෙ මූණට හීන් හිනාවක් ආවා... ආක්ෂගෙ ඇස් තවමත් පියතිලක සමග කතා බහේ ඉදිරියට ඇදෙන පුංචි සිහිනගෙ ලග නතරවෙලා තිබුණා...

"මොකද නතර උනේ??"

මඳ දුරක් ඉදිරියට ඇවිදගෙන ගිය සදෙව් තවමත් සිහින එන බව නොදුටුවෙන් ආපසු හැරිලා බැලුවේ ආක්ෂ නතර උනේ ඇයි කියලා.. ආක්ෂගේ ඇස් කොහෙහෝ නතර වී ඇති බව තේරුම් ගිය සදෙව් සිහිනගෙ නම කියලා උස් හඩින් කතා කරේ ආක්ෂ ඈතින් ඇදෙන සිහිනගෙ රුව දිහා බලන් ඉන්නෙ කියලා තේරුණාම...

"අභී අයියේ....."

"ඔය, බලාගෙන දරුවෝ"

සදෙව්ගෙ හඬට පියතිලකගෙන් ඇස් මුදවගත්ත සිහින ගෙ බැල්ම තමන්ට ඉදිරියෙන් ඉන්න ආක්ෂගෙ රුව ලග නතර උනා...සතුටෙන් පිරිලා ගිය ඒ මුහුණ මත ඇදුණු සිනහවත් සමග පියතිලකගෙ අතත් අතෑරවගත්ත සිහින, ආක්ෂ වෙත දුවගෙන විත් ඒ අතේ එල්ලුනා...

"මාමා යන්නකූ...මන් පුංචි බේබි එක්ක ගිහින් එන්නම්"

තවමත් පාර එහා පැත්තට වෙලා බලන් ඉන්න පියතිලකට නිදහස් අතින් යන ලෙස පෙනවපු සිහින ආක්ෂගෙ අතේ මැණික් කටුව ලගට වෙන්න දෝතින්ම ඒ අත අල්ලාගත්තා...

සිහිනගෙ බල කිරීමටම ආක්ෂ සමග යන්න දීලා නිවසට පැමිණි පියතිලක ගෙට ගොඩ උන හැටියෙම මල්ලිකා අරගෙන ආව වතුර එක අරගෙන තමන් රැගෙන ආ සිලි බෑගය මල්ලිකා අතේ තැබුවා...මල්ලිකා වටපිට ඇහැ දැම්මේ සිහින පෙනෙන්නට නැති නිසා...

"කෝ මල්ලි දරුවා?"

"අන්න පොඩි බේබි එක්කලා ගියා."

"ඉතින් යන්න දුන්නද??"

"පොඩි බේබි දැක්ක ගමන් මගෙ අතත් අතෑරවගෙන ගිහින් ඒ අතේ එල්ලෙද්දි මන් කොහොමද බලෙන් එක්කොරගෙන එන්නෙ"

"කෝසල හාමු නැති නිසා හොඳයි."

එහෙම කියපු මල්ලිකා බෑගය මේසේ උඩින් තියන ගමන් පියතිලකට කන්න බෙදන්න කුස්සියට යද්දි වතුර වීදුරුවෙ ඉතිරිය ඉස්තෝප්පුවේ තිබුණ මල් පෝච්චියට දමපු පියතිලක වැලේ වනා දමා තිබූ තුවායත් රැගෙන පිළිකන්න දිහාවට ගියා....

මේ අතරවාරයේ පොඩි කොල්ලො තිදෙනාම දොළ ලගට විත් නාන්න ලෑස්ති වෙද්දි ආක්ෂ මුලින්ම සිහිනවත් අරගෙන වතුරට බැස්සා....සදෙව්නම් ගස් වලින් වටවෙලා වහන් වෙලා තියෙන මේ තැන ගැනනම් තරමක් චකිතයෙන් බලාගෙන හිටියා...

"ගමේ අය නාන්නෙ කොහෙද ආක්ෂ?"

"ඒ ගොල්ලො නාන්නෙ තව ටිකක් එහාට වෙන්න. මෙතනට එන්නෙ සිහිනයි මායි විතරයි."

"මේක ඔය දෙන්නගෙ රහස් පොට් එකක්ද?"

"එහෙම එකක් නෑ සදෙව්"

තරමක් බයෙන් උනත් ගල් ගොඩැලි අස්සෙන් වතුර පාරට ගොඩ උන සදෙව් ඉණක් තරම් වතුරට බැහැලා තවමත් පපුවම දෝතින් වහගෙන බලන් ඉද්දි සිහිනව ගලක් උඩ ඉන්දපු ආක්ෂ සදෙව් දිහාවට වතුර පාරක් එව්වා...

"ආක්ෂ..!!"

"මොකද නගරෙ මහත්තයා බය වෙලාද"

"කවුද බය.?.මේ වතුර සීතලයිනෙ"

දෝතින්ම ගත්ත වතුර අහුර ඇගට දමා ගන්න ගමන් එහෙම කිව්ව සදෙව් දිහා බලලා සිහින හිනා වෙද්දි ආක්ෂත් සිහිනව නාවන්න පටන් ගත්තා..

"නගරෙ වගේ උණු වතුර එන්නෙ නෑ දොළේ"

ඔලුව උස්සලා සදෙව් දිහා බලන්නවත් වෙහෙසක් නොදරපු ආක්ෂ සිහිනව නාවන ගමන්ම එහෙම කිව්වේ සදෙව්ට දොළේ නාලා පුරුද්දක් නොතිබුණ නිසා.. තවමත් ගල උඩ සිහින වාඩි වෙලා ඉද්දි සිහිනව නාවමින් උන්න ආක්ෂ දිහත් බලලා සදෙව් මොනවහරි අහන්න සැරසුනා..

"සිහින ස්කෝලේ කීය වසරෙද??"

"සිහින දැන් එක වසරෙ සදෙව්"

"මන් ඇහුවේ සිහිනගෙන්නෙ ආක්ෂ!"

"ඉතින් සදෙව්ට ඕන උත්තරේ ලැබුණනෙ"

"පුදුම නපුරෙක් තමයි"

"හම්ප්....අභී අයියට ඒම කියන්නෙපා... මගෙ අභී අයියා තමයි හොඳම"

ඇස් උස්සලා ආක්ෂ දිහා බෝල ඇස් වලින් බලාගෙන එහෙම අහපු සිහිනගෙ පුංචි කම්මුල් දෙක නොරිදෙන්න අල්ලලා මිරිකුව ආක්ෂ සිහිනව තමන්ට තදින් තුරුලු කරගත්තා...

"ඒකනෙ සුදු බෝලේ...මේ සදෙව් අයියා බොරු කියන්නෙ."

සිහිනව තුරුල් කරගෙනම එහෙම කිව්ව ආක්ෂ සදෙව්ට රවලා සිහිනගෙ හිස් මුදුන ඉම්බා...

ආක්ෂ දෝතින්ම ගෙන සිහිනගෙ ඇගට දමන වතුර අහුරක් ගානෙ ඇග කිලිපොලා යන සීතලක් දැනෙද්දි ඇගම හකුලුවා ගත්ත සිහින දිහා බලලා දෝත පෑව ආක්ෂ සිහින එක්කම වතුරට එද්දි සදෙව්නුත් තරමක් ගැඹුරු හරියෙ ඇගිල් තුඩු වලින් යන්තම් ඉස්සිලා එහෙ මෙහෙ යමින් උන්නා...

"සිහිනගෙ අභී අයියා අනික් අයටනම් එහෙම නෑ සිහින"

සද්දෙන්ම එහෙම කිව්ව සදෙව් එක් වරම වතුර යට ගිලී ගොස් නැවතත් උඩ ආවා... සිහින ආක්ෂ දෙදෙනාගේ කෝලම් මැද නාද්දි ඔවුන් දෙදෙනා සමග කතා කරමින් සදෙව් තනිවම විනෝද උනා...සදෙව් ගේ කීමට ඔහුට තව මොහොතක් වතුරෙ ඉන්න ඕන වෙද්දි වතුරෙන් ගොඩ ආව ආක්ෂ, සිහින දෙන්නා ඇදුම් මාරු කරගෙන තණ බිස්සෙ ගහ යට වාඩි වෙලා හිටියා..

තමන්ට එහා පැත්තෙ ගහට හේත්තු වෙලා ඉන්න සිහින තවමත් වතුරෙ දියබුම් ගහන සදෙව් දිහා බලාගෙන හිටියා...මුලදි අදිමදි කරත් මොකද සදෙව්ට දැන් නම් එහි විනෝදයක් දැනෙන නිසා කාලය ගත වෙලා යන බවත් අමතක වෙලා තිබුණා... සදෙව් මත ඇස් රදවගෙන ඉන්න සිහින දිහා බලලා ඒ පුංචි උකුලෙන් තම ඔලුව තියාගෙන තණපිස්සෙ ඇල උන ආක්ෂ ඒ පුංචි ශරීරෙට ලොකු බරක් නොදී හිස තියාගෙන සිහිනගෙ පැත්තට හැරිලා මොහොතකට ඇස් පියා ගත්තා...නොදැනුවත්වම වගේ ආක්ෂගෙ හිස කෙස් අතර ඇගිලි යවමින් ඈත බලාගෙන හිටපු සිහිනගෙ ඉණ වටේ අත් යවලා අල්ලගත්ත ආක්ෂ ඇස් පියාගෙනම තම කටහඬ අවදි කරා...

"සුදු බෝලේ...."

"ඕඕඕ"

"අයියා හෙට ගිහින් ආයෙ එද්දි සිහිනට මොනවද ගේන්න ඕන"

"අභී අයියව.."

"කියන්නකො සුදු බෝලේ..."

"අයියා ඉක්මන්ට ආවම මට සෙල්ලම් කරන්න පුළුවන්"

"වෙන මුකුත් එපාද ඉතින් ??"

"ම්හුක්..."

පියවුණු ඇස් දෙක නොඇරම තොල් අග හීන් හිනාවක් ඇදගත්ත ආක්ෂ සිහිනගෙ පුංචි බන්ඩිය මතින් හාදුවක් තියද්දි දැනුන කිතියට සිහින දගලන්න ගත්තා.

"යමු නේද ආක්ෂ!"

දෙන්නගෙම හුරතල් වීම මදකට නැවතුනේ වතුරෙන් ගොඩ ආව සදෙව් ඔවුන්ට යන්න කතා කරපු නිසා....

වතුරෙන් ගොඩ වෙලා ඇග පිහදාමින් උන්න සදෙව් ඇදුම් අදින්න ගනිද්දි දෙන්නම ඉදගෙන හිටපු තැනින් නැගිටිද්දි ආක්ෂ වේලෙන්න දමපු ඇදුම් ටික එක්කහු කරලා මල්ලට දාගන්න ගත්තා. සදෙව් ඔහුගෙ ඇදුම් ටිකත් වතුර මිරිකලා ඒ මල්ලටම එබුවා...

.

.

පසු දින උදෑසනම වලව්වේ මුළුතැන්ගේ කෑම සුවදින් පිරිලා ගිහින් තිබුණා.. සජීවනී අත යවන්න හිතාගෙන කුමාරිහාමි පැණි වළලු ඇතුළු කෑම ජාති කිහිපයක් හදවන්න තීරණය කරලා තිබුණේ ආක්ෂත් සමග ඔවුන් අද හවස කොළඹ බලා පිටත් වෙන නිසා...

උදේම අවදි වෙලා කමලා නැන්දා මේසෙ උඩින් තියලා ගියපු කිරි වීදුරුවම එක හුස්මට බීලා ඉවර කරපු ආක්ෂ මූණ සෝදගෙන මුළුතැන්ගෙට එනකොටත් සේවකයො හරි හරියට මුළුතැන්ගේ වැඩ වලට කාර්යයබහුල වෙලා හිටියා...හදාපු දෝසි ටිකක් දීසියකට තියලා කමලාට තේ මේසෙ ලෑස්ති කරන්න කියලා කුමාරිහාමි ඉස්තෝප්පුවට ඇවිත් වත්තට වෙලා ලොකු කතාවක හිටිය තම මහත්තයටයි අක්කගෙ සැමියටයි තේ බොන්න කතා කරා..

තෙල් තාච්චිය ගාව ඔට්ටුවෙමින් සිරියාවතී එළියෙ කුස්සියේ පැණි වළලු හදමින් හිටියා...කුස්සියට ආපු ආක්ෂ කුස්සි ලෑල්ල මත ගෙනත් තියාපු පැණි වළලු භාජනෙන් ගත්ත පැණි වළලු කිහිපයක් හොර රහසේම සගවගෙන වලව්වෙන් පිටවෙලා ආවේ සිහින මේ වෙද්දි ඇහැළ හෙවණෙ තමන් එනකන් ඇති කියලා හිතුණ නිසා....

"කොහෙද ඔය දුවන්නෙ?"

"සිහිනව බලන්න"

"වැඩි වෙලා නොඉද එන්න"

පිළිකන්නෙන් ඉස්සරහට ගොඩ වෙනවත් එක්කම ඉස්තෝප්පුවේ හිටිය කුමාරිහාමිගෙ අවසන් වචන කීපය නෑසුනා මෙන් ආක්ෂ හනිකට දිව ගියා...

වෙල දිගේ ඇහැළ සෙවණට කිට්ටු කරත් මොකද ආක්ෂගෙ කකුල් නියර උඩ එක තැන නතර උනා. ආක්ෂගෙ ඇස් වලට හසු උන විදියටනම් සිහින කුමකට හෝ හඬමින් හිටියා...ඒ අතේ එක් ඇගිල්ලක සුදු රෙදි කඩක් ඔතා තිබෙණු දුටු සැනින් ආක්ෂගෙ අතේ තිබුණ පැණි වළලු පාර්සලයත් ඒ අත් අතරින් ගිලිහුනා....සිහින ගැන ආක්ෂගෙ හිතේ හටගත්තෙ බියක්.

තප්පර කිහිපයක් ගත්ත හුස්මත් පහළට නොදා බලන් හිටපු ආක්ෂ හරි සිහියට ඇවිත් පහළට නැවිලා සිහින වෙනුවෙන් ගෙනා පැණි වළලු පාර්සලයත් ඉක්මනින් අහුලගෙන හීයක වේගෙන් දුවවිත් සිහිනගෙ පාමුල නැවතිලා ඔහු අසල දණගහගෙන බිම වාඩි උනා...

සිහිනගෙ ඇස් වලින් කදුලු බේරෙමින් තිබුණා....ඒ බෝල ඇස් අඩලා අඩලම ඉදිමිලා තිබුණා..කදුලුත් නාසයෙන් ගලා ආ හොටුත් සමග මුළු මූණම තෙත බරියම් වෙලා තිබුණා....

"සුදු බොලේ මොකද උනේ.. බය කරන්නෙපා මැණික??"

මොහොතක් සිහිනවම නිරීක්ෂණය කරපු ආක්ෂ සුදු රෙදි කඩක් ඔතපු ඇගිල්ල තිබූ ඒ දෑත හිමින් සීරුවේ තම අත් අතරට අරගෙන නොරිදෙන්න අතගාද්දි තමන් ගානට නැවිලා හිටපු ආක්ෂව සිහින එකවරම දෝත බදලා වැළදගත්තා...සිහින ඒ උණුහුම අපේක්ෂාවෙන් හිටියා. ඒ බව තේරුම් ගත්ත ආක්ෂ සිහිනව සනසන්න හිතාගෙන ඒ පිටට හෙමින් සැරේ තට්ටු කරා...

"ඌවා උනා..."

හඬමින්ම එසේ කියපු සිහිනව මෑත් කරලා ඒ තෙත් වෙලා තිබුණ මූණම තම කමිසයේ අගින් පිහදමපු ආක්ෂ අවුල් වෙලා තිබුණ කෙස් ටිකත් යන්තම් එහෙ මෙහෙ කරලා සිහිනව තම උකුලට අරන් බිමින් වාඩි උනා...

"කොහොමද ඌවා උනේ ඉතින්"

"පිහියට ඌවා උනා...."

කැපුණු ඇගිල්ලෙ මුල අනික් අතේ ඇගිල්ලෙන් අල්ලගෙන ආක්ෂ දිහාවට දිගු කරපු සිහින හේතු කියද්දි ආක්ෂත් හොදින් අහගෙන හිටියා...මල්ලිකා එහෙ මෙහෙ වෙනකන් ඉදලා ආක්ෂ ගෙනත් දුන්න අඹ ගෙඩියක් කපන්න ගිහින් වම් අතේ දබරැගිල්ල හරියෙන් ‍යන්තම් කපාගත්ත සිහිනගෙ අතට දැනටමත් මල්ලිකා අත් බෙහෙත් කරලා තිබුණා...

"දග වැඩ කරන්න යනවනේ. කිව්වට අහන්නෙ නෑ නෙද. දැන් මොනවද පුංචි මහත්තයට පිහියෙන් කපන්න තිබුණේ?"

තරවටු කරන අටියෙන් ආක්ෂ එහෙම කියද්දි සිහිනගෙ තොල් නැවතත් නොපිට පෙරලුනා...මෙච්චර වෙලා අඩලා ඇස් වල එකතු වෙලා තිබුණ කදුලු වලට තවත් කදුලු එකතු කරගනිමින් සිහින මොහොතක් යන්න මත්තෙන් එකවරම අඩන්න ගත්තා...

"කෝ කෝ නාඩා ඉදින්....අයියා ආදරේටනෙ ඇහුවේ සුදු බෝලේ."

මල්ලිකාගෙත් බැනුම් මැද්දෙ තමන් සැනසෙන එකම තැන උන ආක්ෂගෙ තුරුල හොයාගෙන නිවසින් ආවත් ආක්ෂත් තමන්ට තරවටු කරද්දි ඔක්කොටම අල්ලලා අඩන්න ගත්ත සිහින ආක්ෂගෙ තුරුලටම ගිහින් ඒ බදවටේ අත් යවලා ඒ උණුහුමට ගුලි උනා...

"අනේ පරිස්සම් වෙන්න මැණික....අයියට පපුවෙ අමාරුව හදවන්නෙ නැතුව. මුරණ්ඩුයිනෙ සුදු බෝලෙ"

"............"

"ඕම වෙනකොට අයියට සිහින තියලා යන්නත් බයයි."

"ඒනම් මාව එක්ක යන්න."

මෙතෙක් වෙලා ආක්ෂ කියපු ඔක්කොම ඉකි ගසමින් අහගෙන ඉදපු සිහින හිස ඔසවලා එහෙම කියද්දි ආක්ෂත් සිහින දිහා බලලා හිනා උනා..."මගෙ කපටි කොල්ලා" ආක්ෂ සිහිනගෙ කම්මුලක් තදින් මිරිකලා ඇල්ලුවා...

"ආආව්ව්"

"සිදුනද මගෙ සුදු බෝලේ"

කදුලු වලට දිලිසෙන ඒ බෝල ඇස් වලින් බේරිලා ගිය කදුලු පාරවල් දෝතින්ම පිසදාපු ආක්ෂ ඒ දිලිසෙන ඇස් අස්සෙ මොහොතකට අතරමං වෙලා ඉද්දි සිහින ආක්ෂ දිහාවට තම අත දිගු කරා...

"හාද්දක් දෙන්නකූ...එතකොට ඉක්මන්ට හොඳ වෙයි"

තමන්ගෙ ඇගිලි වලට පොඩි උන ඒ රෝස කම්මුල මතත් හාද්දක් තියපු ආක්ෂ ඒ තුවාල උන ඇගිල්ල මතත් රෙදි කඩට මතුපිටින් හාදුවක් තැබුවා...

"කෝ මේ බලන්න අයියා සිහිනට පැණි වළලු ගෙනාවා"

ඒ බෙල්ල බදාගෙන ඉන්න සිහිනව අතින් අල්ලලා මෑත් කරන ගමන් ආක්ෂ තමන්ට සිහිනගෙ තුවාලෙ නිසා අමතකව ගිය පැණි වළලු පාර්සලය සිලි බෑගයෙන් ඉවතට ගත්තා...අතට ගත්ත පැණිවළල්ලක් සිහිනගෙ කටට ලං කෙරුව ආක්ෂගෙ ඇස් දිහා බලන් ඉදපු සිහින හෙමින් සැරේ ලං වෙලා කටින් කඩාගත්ත කෑල්ලක් හපන අතරෙ ආක්ෂ ආදරය පිරුණු දෑසින් සිහින දිහා බලන් හිටියා..

සිහිනගෙ කට වටේ බේරිලා ගිය පැණි ටික අතින් පිහදාලා ඇදන් හිටපු කොට කලිසමේම අත පිහදාගත්ත ආක්ෂ සිහිනව තුරුල් කරගෙන බොහෝ වෙලාවක් මෙවර ඔවුන්ගේ අවසන් මොහොත ගත කරා....ආක්ෂ සිහින සමග නිවස බලා එනකොටත් ඔවුන් බොහෝ වෙලා ඇහැළ සෙවණෙ ගත කරලා තිබුණා...

ඒ විදියට තමන්ට ලැබුණ අමතර දින දෙකත් සිහින සමග වැඩි කාලයක් ගත කරපු ආක්ෂ නැවතත් දිනෙක එන පොරොන්දුව ඇතිව සිහිනගෙන් සමුගෙන නැවත කොළඹ බලා පිටත් උනා...මෙවර සිහින ආක්ෂ යද්දි කලබල නොකරා....ආක්ෂ මේ විදියටම ඉක්මනින් ඒවිය යන බලාපොරොත්තුව ඇතිව සිහින ඈතට වෙලා ගමෙන් පිට වෙලා යන කාරය දිහා කදුලු පිරුණු දෑසින් බලා සිටියා...යන්න පෙර හමුවී ඒ නලල් තළයට එකිනෙකා දුන් හාදුවේ උණුහුම එකිනෙකාගෙන් වෙන් වෙලා යන ඔවුන්ට තවමත් දැනුනා... ආක්ෂ කියූ වචනයක් ගානෙම ඒ හදවතේ තදින්ම රදවගත්ත සිහින මෙන්ම, මේ දින කිහිපයේ මතක අහුරක්ම පොදි බැදගත්ත ආක්ෂත් කදුලු පිරුණු දෑසින් හිත ශක්තිමත් කරගෙන නුවරින් නික්මුණා.....

3rd person pov end.

.

.

.

සිහින POV.

"ආහ්හ්....මගෙ අත....අයියේ...."

"චූටී නැගිටින්න.....ආයෙත් නින්දෙන් කියවනවද?...කෝ ළමයෝ"

අයියගෙ උරහිසට ඔලුව තියාගෙන නිදාගෙන ආව මන් නින්දෙන් ඇහැරෙද්දි නලල දෙපැත්තෙන් දාඩිය බේරෙමින් තිබුණා... මගෙ ඇස් වලට කදුලු උනපු හේතුවක් නොදන්නවා උනත් මගෙ හදවත අසාමාන්‍යව ගැහුනා.. උරහිසෙන් කෙලින් වෙලා මූණම දෝතින් පිහදාගත්ත මන් වටපිට බැලුවේ අපි කොටුවට ඇවිල්ලද කියලා...

"තවම මරදානෙ චූටි"

මගෙ හිත කියෙව්වා වගෙ අයියා එහෙම කියද්දි මන් බෑග් එකේ තිබුණ වතුර බෝතලේ කටගහගෙනම බිව්වේ මන් ටිකක් බය වෙලා හිටපු නිසා...බය උන හැමවෙලාවකම වතුර ටිකක් බොන්න කියලා කියපු අම්මගෙ වචන මතක් උනා...

"අයියේ.....මට බය හිතුණා..."

"ඇයි ඒ මොනාද දැක්කේ?"

"මන් දැක්කා මගෙ අත කැපිලා තිබුණා...අයියා මට බෙහෙත් දැම්මා..."

"මමද??"

අයියා එහෙම අහද්දි එයා දිහා බලාගෙනම මන් ඔලුව දෙපැත්තට වැනුවේ ඒ කවුද කියලා නොදන්නවා උනත් යුවාන් අයියා නොවුණ නිසා...

"අපි ඩොක්ටර් කෙනෙක් චැනල් කරමු චූටි. මේක හරියන්නෙ නෑනෙ. කොහෙද ඔයා මුරණ්ඩුයිනෙ"

"ඕන නෑ අයියේ. මට ලෙඩක් නෑනෙ"

"ලෙඩක් නෑ තමයි. ඒත් කවද ඉදන්ද ඔහොම"

"ආයෙ ගෙදර ආවම බලමු"

"ඉතින් මන් පුංචි අම්මට කියන්නම් ඔයා එක්ක යන්න කියලා"

"එයාලට කියන්නෙපා...අයියලා නැතුව මට යන්න බෑ. ඒ නිසා ආවම යමු"

"ඔය පේන්නැද්ද. මුරණ්ඩු කම"

"ම්හුක්"

ට්‍රේන් එක කොටුවට කිට්ටු වෙද්දි සීට් එකෙන් නැගිටලා බෑග් අරන් දොර ලගට කිට්ටු කරපු මට මතක් උනේ එදා කෝච්චියේදි අභී අයියා මාව බදාගත්ත විදිය. මතක් වෙනකොටත් මට ඒ හැගීම ආයෙම දැනෙනවා වගේ හිතුණා...ඒක හරි අමුතුයි....මට අනික් යාලුවො ගැන දැනෙනවට වඩා වෙනස්...

"කෝ බහින්න"

තප්පර ගානක් ආක්ෂ අයියගෙ ලෝකෙ හිටපු මන් හරි සිහියට ඇවිත් කලබලෙන්ම බහින්න ගිහින් තා පොඩ්ඩෙන් කකුල පැටලෙනවා...වෙලවට අයියා පිටිපස්සෙන් ආව නිසා මාව අල්ලගත්තා...

"බලාගෙන සිහින..."

කරේ දාගෙන හිටපු බෑග් එකෙන්ම මාව අල්ලගත්ත අයියා මන් බහිනකනුත් බෑග් එකෙන් අල්ලන් ඉදපු අත බැහැපු වෙලාවේ අතාරිනවා මට දැනුනා..

ස්ටේෂන් එකෙන් එළියට ඇවිත් වටපිට බැලුව මගෙ ඇස් වලට අහු උනේ හැමතැනම නවත්තලා තියෙන බස් වගේම කොටුව පුරා පිරිලා හිටපු සෙනග වෙද්දි ගමේ වගේ කිසි නිස්කලංක බවක් නොපෙනුන අහස දිහා බලාගෙන මන් ලොකු හුස්මක් උඩට ඇදගත්තා...

"අයියේ මේකෙන් වතුර ටිකක් අතට දාන්නකො"

කදුලු පිරිණ ඇස් තවමත් ඇදුම් දෙද්දි නිදි මත බේරුණ මූණ නැති කරගන්න හිතන් මන් බෝතලෙන් අතට වක් කෙරුව වතුර ටිකකින් මන් මූණ යන්තම් සෝද ගත්තා..

"අම්මේ අර බස් එකට නගිමු"

මූණ සෝදගෙන ලේන්සුවෙන් මූණ පිහාදාගත්ත මන් අයියගේ කටහඬට ඒ පැත්ත බලද්දි හෝල්ට් එකෙන් අද්දන්න බලාගෙන හිටපු බස් එකට නැගගෙන සීට් තිබුණ තැන් වලින් අපි තුන් දෙනා වාඩි උනා...

සිහින POV end.

.

.

ආක්ෂ POV.

අපි හිටියේ තවමත් තේව්ලගෙ ගෙදර ඉස්තෝප්පුවට වෙලා තේව් එක්ක කතාවක් දාගෙන. සිහින එන වෙලාවක් ගැන තවමත් නිනව්වක් නැති වෙද්දි නුවරින් ආපු කෝච්චිය මේ වෙනකොටත් කොටුවට ඇවිත් ඇති කියලා හිතුණ නිසාම මන් තව ටිකක් ඉවසුවා...

බලන් ඉදලා ඉදලා අවසානෙ අපි හැමෝගෙම ඇස් නතර උනේ ගේට් එක ඉස්සරහ නතර කරපු වීල් එක ගාව වෙද්දි සිහිනව බලාපොරොත්තුවෙන් ඇගිලි ගැන ගැන හිටපු මාව ඉදගෙන හිටපු මාමගෙ බයික් එකෙනුත් නැගිට්ටෙද්දි තේව් මල්ලි නැන්දට කතා කරන්න ගෙට දිව්වා..මන් නම් සැදී පැහැදී බලන් හිටියේ මන් මෙච්චර දවසක් දකින්න බලන් හිටපු ඒ රූපෙ මතු වෙනකන්...

"මේ මචන්...."

"මොකෝ..?"

දෙයියනේ කියලා මගේ එහා පැත්තට වෙලා ඇබිත්තෙන් ඇබිත්ත කිරි ටොෆි කෑල්ලක් කන ගමන් හිටපු විශාක මට කතා කරත් ඌ දිහා බලන්නවත් හැරුණෙ නැති මම වීල් එක දිහා බලාගෙනම උත්තර දුන්නා....ඉස්සෙල්ලම වීල් එකෙන් බැස්සේ සිහිනගෙ අම්මයි අයියයි...ඈතට උනත් සිහිනගෙ අම්මා සිහින වගේම හරි ලස්සනයි කියලා මට හිතුණා. ඒ රූපෙ අනිවාර්යයෙන් නැන්දගෙන් ලැබුන උරුමයක් කියලා පේන්නම තියෙද්දි සිහිනගෙ ඒ පෙනුමම යන්තම් අයියගෙත් මන් දැක්කා....ඒත් මේ කොල්ලානම්, මගෙ ඉවසීම පරීක්ෂා කරනවා වැඩියි වගේ...ඉක්මනට බැහැලා එන බැරිද...

"මල් මාලයක් ගේන්න බැරි උනානෙ බං.."

ඒ පාරනම් බැලුවා නෙමෙයි මොහොතකට මට විශාක දිහා බැලුනා.. පොඩ්ඩක් සීරියස් වෙන්න බෑනෙ මුට. මන් විශාකට වැලමිටෙන් ඇනපු පාර වැදුන අත අල්ලගෙන ඌ පොඩ්ඩක් ඇඹරුනා. හොඳ වැඩේ පොලොස් කොට්ටෝරුවා...

"උඹ බලන් ඉන්නෙ නිකන් චාල්ස් කුමාරයා එනවා වගේනෙ"

"එහෙම තමයි ඒ මගෙ හුරතල් කොල්ලානෙ"

මගේ උරහිසකට බර වෙලා විශාක එහෙම කියද්දි මන් ඌව උරහිසෙන්ම යන්තම් අහකට තල්ලු කරා...

"උඹ පොඩ්ඩක් එහාට පලයන්කො ඇගේ වැදෙන්නෙ"

"ඔව් ඔව් උඹව කොහොමත් අල්ලන්න පුළුවන් එක්කෙනෙක්ට විතරයිනෙ."

අර දැක්කනෙ මූ කිව්වොත් ඔය වගේ කතාවක් තමයි. ඌට හොඳවයින් රවලා මම අහක බලාගත්තා. මොහොතක් ගත වෙන්න ඇති...ඒත් මට ඒ මොහොත පැය ගානක් තරම් දිගයි වගේ දැනුනා..වීල් එකෙන් බැහැලා අයියා වීල් කාරයට සල්ලි ගෙවද්දි සිහිනගෙ අම්මා බෑග් ටික එළියට ගත්තා...

"අඩේ අයියයි අම්මයිත් ඇවිල්ලනෙ බං"

"ඇයි මන් උඹට කිව්වෙ.."

"ඒකත් රෑද කිව්වෙ පුතෝ. එහෙනම් මට මතක නෑ."

"කැපෙමුද බං"

"අර මොකටද අපි ඉන්නෙ උඹලයි නැන්දම්මගෙ ගෙදරනෙ"

"උඹ මගුලක් කතා නොකර පලයන් බං යන්න."

වීල් එකෙන් බැහැලා අපෙ පැත්තට හැරුණ සිහිනගෙ ඇස් ඉස්සෙල්ලම නැවතුනේ මන් ගාව වෙනකොට බිමට නැවිලා තිබුණ ඒ ඇස් උස්සලා මගෙ දිහා හොරහින් බලද්දි ඇත්තමයි මන් ලොකු හුස්මක් උඩට ඇදගත්තා... මට මොකක්ද උනා...හැමපාරම වගේ ඒ බැල්ම මාව පිස්සෙක් කරා....තප්පර ගානට උනත් ඒ කම්මුල් මගෙ දිහා බලාගෙනම රෝස පාටට හැරුණා....

එච්චර දුරට මන් ඒකත් දැක්කද...?

සුළගට විසිරිලා ගිය කොණ්ඩ අහුරත් කන පිටිපස්සෙ රදවගත්ත සිහින වීල් එකෙන් බැහැලා අපි දිහාවට ඇවිදගෙන ආවා.. ඒ හුරතල් මූණ, ඒ හිනාව මට කොච්චර මගඇරිලද කියල මට දැනුනේ එවේලේ.... හම්බෙලා ටික කාලය උනත් මගෙ ඉස්සරහට ඇවිදන් එන සිහිනව ආත්ම ගානක ඉදන් පතාගෙන ආවා වගේ හුරුපුරුද්දක් මට දැනුනා..

භාගෙට ඇරලා තිබුණ ගේට්ටුවෙන් ඇතුළට එන සිහින අපි දිහාවට ආවේ හෙමින් සීරුවෙම බිම බලාගෙන වෙනකොට මන් මෙහේ සමවැදිලා වගේ සිහින දිහා බලන් හිටියා...සිහිනටම පසුපසින් ගේට්ටුවෙන් ඇතුළු උන සිහිනගෙ අම්මයි අයියයි දෙන්නත් බෑග් මලු උස්සන් ඊට එහායින්ම එද්දි මට සිහින දිහා බලනවද මගෙ අනාගත නැන්දම්මයි මස්සිනයි දිහා බලනවද කියලා හිතාගන්න බැරුව ලෝක දෙකක තප්පර ගානක් අතරමං වෙලා අවසානෙදි මගෙ ඇස් මගෙ පුංචි කුමාරයගෙ රෝස කම්මුල් අස්සෙ නැවතුනා...

මගෙ වටේ ලෝකෙම වැඩ කරද්දි මට විතරක් කාලය නැවතිලා වගේ දැනුනා...මාවත් පහු කරන් සිහිනගෙ ගෙදර අය පිළිගන්න ඉස්සරහට ආව තේව්ලගෙ අම්මයි තාත්තයි බෑග් ටිකත් අරන් ඇතුළට යද්දිත් මන් ඔහේ හිටියා...මන් හරි සිහියට ආවේ සිහිනගෙ අම්මගෙ කටහඬට...

"මේ ළමයි කවුද අක්කේ?"

"ආ මේ අපෙ දරුවගෙ යාලුවො වගයක් නංගි..සිහින පුතාත් අදුරනවනෙ...හැමෝම එන්න ඇතුළට යමු...ඔය දරුවොත් එන්න"

"එහෙම හරි නෑනෙ නැන්දෙ.අපි ගිහින් එන්නම් එහෙනම්."

සිහිනව දැක්ක නිසා මන් හැදුවේ එතනින් මාරු වෙලා එන්න. දැම්ම අනාගත නැන්දම්මට මාට්ටු වෙන්න උවමනාවක් නොතිබුණ තැන මන් විශාකයගෙ ෂර්ට් එකෙන් ඇදලා ලගට ගත්තෙ උගෙ කනට කරලා ගෙදර යමන් කියන ගමන්. ඒත් කොහෙද තේව් ඇවිත් ඌව ඇදගෙන ගියා... නැන්දගෙන් බේරුමක් නෑ ආපු ගමන් යන්නෙ ඇයි ඉන්න කියලා...ආදරේනෙ ඉතින්...

"අනේ මෙන්න මෙහේ එන්න දරුවෝ. සිහිනගෙ යාලුවොනම් නොදන්න අය නෙමෙයිනෙ"

පළවෙනි වතාවට අනාගත නැන්දම්මා මන් එක්ක කතා කරා....දැනටම මන් හඳ අල්ලගත්තා වගේ ෆීලින්ග් එකක් දැනෙද්දි කාටත් නොදැනෙන්න මන් ලොකු හුස්මක් ඉහළට අද්දා... තේව්ගෙ අම්මටත් වඩා සිහිනගෙ අම්මා හරි අහිංසක පෙනුමයි නේද කියලා මට හිතුණා...සිහිනගෙ වගේම පිම්බුණ කම්මුල් දෙකක් සිහිනගෙ අම්මටත් තිබුණේ... තප්පර ගානක් සිහිනගෙ අම්මා ගැන ලොකු විශ්ලේෂණයක හිටපු මන් ආයෙමත් ඇහුන ඒ කටහඩින් පියවි සිහියට ආවා.

"පුතාගෙ නම මොකක්ද??

"මන් ආක්ෂ අභිමන්"

"ඉතින්, පුතා කීය වසරෙද දැන්???"

සිහිනගෙ අම්මගෙ කටින් පුතා කියලා මට කතා කරද්දි අමුතුම හැගීමක් මට දැනුනා....

"අපි ඒ ලෙවල්ස් නැන්දේ"

"එතකොට අපෙ පුතාලව අදුනන්නෙ?"

"තේව් මල්ලියි අපියි බාස්කට් බෝල් ටීම් එකේනෙ. එතකොට තමයි සිහිනව දැනගත්තෙ"

"ආ එන්නකො යමු ඇතුළට"

සිහිනගෙ අම්මා මගෙ පිටට තට්ටුවක් දාගෙන ඇතුළට යද්දි අයියත් මගෙ දිහා අමුතුවට බලලා ගේ ඇතුළට ගියා...ඒ බැල්මනම් ඇල්ලුවේ නෑ පුතෝ...මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා...ඒක වැඩක් නෑ...මන් ආයෙම හැරුණේ සිහින දිහාවට...

සිහින තවමත් මට අඩි දෙක තුනක් ඈතට වෙන්න නැවතිලා හිටියා...හැමෝම ගේ ඇතුළට යද්දි මමයි සිහිනයි විතරක් එළියේ ඉතුරු උනා... බෑග් එකත් තනි අතකින් එල්ලගෙන මගෙ ඉස්සරහට ආව සිහින මගේ ලගින් යද්දි මෙච්චර වෙලා බිම බලාගෙන ආව ඒ ඇස් උස්සලා මගෙ දිහා බලද්දි මගේ මූණෙ හීන් හිනාවක් ඇදුණා...


මුළු ආත්මෙම හිටිවැටිලා යන බෝල ඇස් ගාව මගෙ මුලු හෘදය වස්තුවම දිය වෙලා යනවා වගේ දැනුනත් මන් පිටතින් සාමාන්‍ය විදියට හිටියා....සිහින ලගින් හමන ඒ කොලෝන් සුවද ඇත්තටම හිත නිවන සුවදක්. එහෙම දැනෙන්නෙ සිහින ලගින් හමන නිසාම වෙන්නැති.. මගෙ සැර සෙන්ට් සුවද පරද්දලා මට දැනුන ඒ සුමුදු සුවඳ මට මහ මෙරක් වගේ දැනුනා....අන්තිමට මාවත් පහු කරගෙන කතා නොකරම ගේ ඇතුළට ඇවිදගෙන ගිය සිහින දිහා මන් හැරිලා බලාගෙනම හිටියා...

"ඇත්තටම ඇයි හදවතට දැනෙන මේ හැගීමට මන් මේ තරමටම ලෝභ කරන්නෙ!?"

.

.

.

හැම හීනයෙම නුඹ හිනැහී
සංසාරයෙම ලග නැවතී
අපි උන්නු බව කීව ගී
හිත ගාව මිහිරී....

සංතාප වේදනා වියැකී
නෙත රැදුණු කදුලු බිදු වියළී
හිත බිදුණු රිදුනු දුක
දුක හිතුණු දැනුන තැන්
සිනා සරින් පිරිමදිමූ

පෙම් වසන්තයේ අපි නිවෙමූ ❞

.

.

.

.

හායි බබාලා.....👉👈

සොරි ළමයි ටිකක් විතර පරක්කු උනා..

ඔන්න අද වචන 5000 ත් පැනලා 🙈🙈 මේ විදියට දිගටම දෙන්න බලන්නම්..👉👈

කතාව ගැන අදහසක් දීලා යන්නකො.

කම්මැලි වගේද....?

Comment